Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

සැඟවෙන්නට,
විඳවන්නට,
නොලියන්නට,
හුරු කල....
තැවෙන්නට,
තනිවෙන්ට,
හුරු කල...
ඒ පෙම් සිතට,
සාප වේවා...!
සදහටම,
නොමැරී මැරෙන්නට

දෙසතියකට මත්තෙන්,
දහසකුත් සනහමින්,
පුන් පුරා පෑ නුඹ,
අද මටත් උන්ටත්,
අමාවකක්මැයි..

මේ නිසල වියරු රැය,
බියකරුයි සඳා මට,
තරු කවට කම් මැදිව,
ඉකි බිදින මා ලයට,
තවත් ගැරහුම් නොදී,
අද හෙටම පායපන්...

මගෙ වළාබර අඹර,
නුඹට රිසි නොම වුවත්,
නුඹට රිසි අඹර හිද,
පායපන් සදාකල්,
පුරා සඳ විලසින්ම....

එකේ පන්තියෙ උන්නු උන්ට
මන් කිව්වෙ උඹල මගෙ යාලුවො කියල
ඒත් ඒකෙ අරුත
මන් දැනන් උන්නෙ නෑ..
මන් උඹත් එක්ක යාලුවෙක් කිව්වෙ
දුකට, සතුටට, හැමදේටම ඉන්නම් කියල..
ඒත් උඹ කිව්වෙ යාලුවො ඕනෙ
සතුටට විතරයි කියල...
එහෙනම් උඹේ මේ දුකට
මන් තනියෙම හූල්ලන්නම්
මගේ මිත්‍රත්වයේ නාමයෙන්...

මිතුර පෙරදා - දුටුව සඳ කැන්
නොදැනි ඔබ හා - බැඳුනු සරදම්
නොහැක විදිමින් පුරාවට...
නුබේ සුපෙම් කැන්....

සිතින් ගලනා - කදුලු ගංගා
නොසඟ හඳ මා - තැවෙන විලසා
යදිමි මිතුදම් ගොතා..
සදා සරණා තුරා...

භවෙන් භවයේ - නොදැන ගැටෙමින්..
රැදුනු කඳුලැල් - සිතින් මකමින්
සමුගනිමි ඔබේ තුරුලෙන්....
නොසිදු විලසින්....

මට නොදැනෙන
නුඹට දැනෙන
මගේ වෙනස
කියාපන්...

සිත නොහඳුන
ගතට දැනෙන
මගේ වෙනස
කියාපන්...

කොඳුර කොඳුර
මට නොකියන
මගේ වෙනස
කියාපන්...

නුඹයි මගේ
වැටෙන්න පෙර
මගේ වෙනස
කියාපන්...

ගලන දහරක
පවතිනා නිල්
පහස නැත මා... හදවතේ....

හමන සුළඟක
රැදුනු සුදුමුදු
සෙනෙහෙ නැත මා... හදවතේ....

ගයන ගීයක
කුරුටු වී ඇති
තාලෙ නැත මා... හදවතේ....

නුඹ ලඟට වී
සුසුම් පැතුවත්
ඉඩක් නැත මා... හදවතේ

නොදනිමි..
ක්ෂේත්‍රය කිම් දැයි,
බැදුනිමි...
ක්ෂේත්‍රය නුබේ,
වඩවමි...
ක්ෂේත්‍රය මගේ,
රැදෙමි..
ක්ෂේත්‍රය ඇති තුරා,
පිටයමි...
ක්ෂේත්‍රය විරුද්ධ වූවන් හා,
නොදරමි...
ක්ෂේත්‍රය සම වූවන්,
දනිමි...
ක්ෂේත්‍රය තවමත් මා ලඟම බව...
සොයමි...
ක්ෂේත්‍රය සදාකල්
නිමනොවනා.....???

කොච්චර අමතක කලත්
බුර බුරා නගින මතකය
සිදින්නට දමන දියත් ගෙන
තවත් දැවෙනා අරුම
දැනගන්ට වුවමනා වුවත්
උඹ මගේ කවුරුන්ද?
අනේ උඹෙ හුස්ම
හුලඟට පා වෙන දාට
මගෙ හුස්මත් අරන් පලයන්
එදාටවත් මේ ගිනි පුපුරු
නිවී අලුවී යාවි
කාටවත් නොකියාම....

සුවදැති
රුවැති
සියුමැලි
කුසුම
නොදනී
ඹමරුන්
රොනට
ඇදෙන
නොදෙනෙමි
තලන්නට
සුරකිමි
නුඹ වත
සුවඳවත්
නොගෙන..

මගෙ හුස්මකට අනෙ උඹ අහු වෙලා ඇති...
මගෙ වදනකට අනෙ උඹ පෙම් කරපු හැටි...
මගෙ එලියයයි පස්සෙන් උඹ ආපු හැටි...
නොපෙනේ උඹට මා කරනා බොරුවෙ හැටි...

දිනක එපා කී මා උඹ පතපු හැටී...
උඹත් යමක් දන්නා බව පෙනුනු හැටී...
අනේ උඹත් අහුවුනු මගේ ගැටේ හැටී...
කාලා බලන් මා තොට ගිල්ලවන හැටී...

මිතුරන් නසා මා වසඟෙට ගෙනා හැටී...
මතකේ නැගෙන විටදිත් මට සිනා නගී...
අනේ කොල්ලනේ බලපන් දිවියෙ හැටී...
පෙර පූරුවේ කරුමෙට මූ විඳින හැටී...


මෙය හුදෙක් මාගේ මනසේ ඇතිවූ සිතුවිලි දාමයක පෙලගැස්මක්ම පමණක්ම බව සලකන්න...

ඔබ මාව කෙතරම් එබුවත්
නොලැබෙනු ඇත පිලිතුරක්
කැපෙනු ඇත රුපියලයි සත තිස් දෙකක්
ඔබනා වරක් පාසා...
හපොයි,
අපරාදෙ සල්ලි...

අත් දෙක බැඳලා,
ආයි මන්,
ලියන්නෙ නෑ කිව්වට,
උඹ මට ඉන්න දෙන්නෙම නෑ...
ඈතින් ඈතට ,
ඈත්වෙලා,
පියාඹා ගියාට,
උඹ මට ඉන්න දෙන්නෙම නෑ...
නින්දෙත්,
ඉගි පාල,
මාව ඇහැරවල,
උඹ මට ඉන්න දෙන්නෙම නෑ...
ඇයි උඹ
මගේ මතකය උනේ...
කොච්චර උනත්
උඹ මට ඉන්න දෙන්නෙම නැති එක හොදයි.....

ගෙදරින් දුර...
හිතින් ඈත..
දන්න කවුරුත් නැති...
බොරුවෙන් ජීවත්වෙන...
මේක ද කැම්පස් එක....?

බලා හුනිමි,
තනිවන්නට මොහොතක්,
ලූයෙමි කෙටි පණිවිඩක්,
එනතුරා එහි බාරදුන් රිපෝතුව,
නොපෙනේ එන වගක්,
මැදියමේ කනිසමත් ඇසුනි මා සවනතට,
නො එන නිදි දුවනි නුඹ,
ඇයි තවත් පමා මට,
දෙකේ- හතරේ පැයත් ඇසුනි නැවතත් මටම,
එහෙත් නුඹ තවම නැත....
දරා ගනු නොහැක තව,
ඇසුනි දෙදරන හඩක්..
පනිවිඩය ලැබී ඇත,
වහා ලූයෙමි විවර,
"Message Sending Failed"
රූරා වැටෙන බිදු,
කදුලු වග දැනුනි මට,
එහෙත් මතකය,
නොවෙනු ඇත අමතක,
සරනා තුරාවට..




උඹ ඔච්චර ඈත් වෙලා
අහසට ගතු කිව්වෙ
මට නොපෙනෙන්නනම්
බලන් ඉදපන්…
උඹට පොලොව සිබින්න වෙන්නෙ
මගේ දෑත් වල වාරු අරන්
උඹෙ ලපටි කොමල රටාවට
උන් අහුවුනත්
උඹට හයියක් නැතුව
මගෙ මුදුනතට
කඩා වැටෙනකොටවත්
හයියෙන් කෑ ගහපන්..
“අනේ මගේ අම්මේ..!” කියල…

සේයා රු අනුග්‍රහය : පිටස්තරයා..

ගැස්මට,
නැග්මට,
හිටපු එකම හිත..
උඹ ගාව
තනියට,
නොතනියට,
හිටපු එකම හිත..
ඒකත් උඹ ගාව
කියන්න,
නොකියන්න කියපු,
එකම හිත..
ඒකත් උඹ ගාව
උඹට දෙකක් වැඩි නැද්ද?

නුඹේ නැහැයට දැනෙන
ඒ පුංචි කිතිකැවුම
මටත් දැනෙනවා එලෙසින්ම
අඟවන්නට බැරි කමට
සිතින් නෑ කීවත්
ඒ හැගෙන්නේ..
අපේ හදවත් රිද්මයයි...

කෙතරම් දැනුනත් සඟවන
කෙතරම් කිව්වත් නොකියන
කෙතරම් සෙව්වත් නොපෙනෙන
නුඹ පරදන්නට වෙර දෙන්නේ
හිතද?
නැතිනම් පිළිගන්ට තනන
හදවතද?

18 අවුරුද්දක්
පෙරුම් පුරල
ආවේ මන් ජීවිතයක් ගන්න
නැතුව පිහි මන්න මානන්
ජීවිතේ දේශපාලුවෙක්
වෙන්න නෙමෙ
ඒත් උඹල
අපිට දෙන
ජීවිතේ
හිර ගෙදරද?

දිනෙන් දින
මොහොතින් මොහොත
හමා යන සැඩ සුළඟ
එලව එලවා
පහර දෙන හැටි
දරන්නට බෑ
පුංචි හදවතට
කොතරම් සැඟවුනත්
සොයා එන මතකය
කෙලෙසක අමතක කරම්ද?
තනියම ගැසූ අත්පොඩි
මගේ විතරක් බව
උඹ කිවිවට
සද්දෙ ආවෙ
උඹෙනුත් උර අරන් නේද?
පොතක් තියා
කෑමක් ගන්නත්
එපා වෙච්චි මේ කුණාටුව
මං හදාගත්තු
"කැත්‍රිනා" එක්ක ආපු
උඹේ "රීටා" නේද?
අනේ මේ වලෙන්
ගොඩ එන්න
මගෙ අත් වාරු මදි
වෙලාවක් ඇත්නම්
මට උදව්වක් කරපන්...
මේ ඔක්කොම
"විල්මා" වෙන්න
කලියෙන්...

දත්ත: "කැත්‍රිනා" , "රීටා" සහ "විල්මා"...

ස්තූතියි
දෑස් හැරවූවාට
අයදින්නට
දෑත් එක්කොට
සමාවක්
ලබා දුන් ඉඩකඩට
අනේකවාරයක්
ස්තූතියි නුඹට...

අයාලේ පාවෙන මගේ සිත්කද
සිරකරගත් පුංචි කුමරිය
මුදාලන්නට අනන්තය වෙත
මිදී ඈතට ඉගිල යන්නට...

කෙතරම් ආසා කලත්
හිදින්නට නුඹේ ලඟ
සමාජ බැම්මට
බියයි ඒ නුඹේ සිත...

නමුත්
පවසන්න වරක් මට
නුඹ හඳවත් ගැස්ම
මගේ සිත සනසවා
ඒ මතම මියැදෙන්ට...

ඔබේ දෑත් ගෙන
පාලු වීදියක
තුරුල්ව උණුහුමට
සක්මන් කරනා
මා සිත් යාය...

හැරෙනා පියවරක්
බිය නොමැත තබන්නට
කිති කැවුනු සෙනේ බර
ඔබ මුහුන
සිඹින්නට...

විදවනා ඔබේ හද
කියනු මැන නොසඟමින
ආදරෙන් රැකගන්න
හිදිමි මා
පෙර මගම...

ලදත්
නොලදත්
සිතක්
හඳ ගත්
විතක්
තැවුනත්
විතක්
සොවුනත්
කිසෙක
නොයදිම්
අදර
සිඟමන්...

රැගෙන සටහන් මිට
එකින් එක පෙරළමින්
කලත් ආවර්ජනා
රැයක් නිදි ලොව වරා
නොනැගුනේ මතකයට
ඇයිද යත් නොම දැනේ..

කියාපන් මා හට
කිමද මට සිදුවුණේ..

දරන්නෙමි හෙට දිනට
කරන්නට වෙර දමා..
පෙරදි මා කල ලෙසට
නමුදු
එක් දෙයක් එයි සිතට
හඳවතින් අමතනා...

'මම නුඹට ආදරෙයි...! මම නුඹට ආදරෙයි...!'
කියයි සිත වෙර දමා...

සඟවාලන්නට කියූ මුසාව,
ඇනුණි තවත් හද පත්ලෙම..
වැටහේවි දිනක,
වලකන්නට නිරුවත,
කියනා දහසකුත්,
මුසාවන්..
නිමක් නොම වග.
හිඳිමි ඉක්බිති...
පූදින තුරු,
සැඟවූ සත්‍යයය,
සැමදා උපේක්ෂාවෙන්...

සිතට,
වදදෙන,
නෙතට,
කඳුලන,
ඔබ,
Anonymous ද?

මිතුර
අරමුණක් ඇති නියාවෙනි
අභියෝගයක් වූයේ ඔබ මට
අදිටන් කර ගතිමි දැඩි සිතින්
ජය ගැනුමට මා මතු දිවිය
වෙහෙස වන්නට බොහොමැයි
නමුත් ඔබ හමුවේ
නොමදැනේ එය බිඳකුත්
ගැහෙන හදවතක නැගෙන සුසුමක
රැදෙන ඔබගේ සුවඳ
මහා ධමනි, ශිරා ඔස්සේ ගලන
රුහිරු ධාරාවේ කැටිවූ මිතුදම අපූරුය
හැකියාව, කේෂනාලිකා වලින් සෛලවලට පාරගම්‍ය වන
මොහොතේ පටන්
මා, මා තුල සොයන්නේද එයයි
උපේක්ෂා පිරුණු දෙනෙතින්
සෙවනැල්ලක්ව
රැදෙන ඔබ කවුරැන්ද?
අනෙකුන් නොව
දහසක් අරමුණු මතින්
ගොඩනගන්නට ජීවිතය
නිබඳ දිරි දෙන
විශ්වාසය නම් මිතුරාමයි

මට උරුම වූ,
ලොකුම ලොකු බින්දුවේ
පුංචිම පුංචි පද රුත
ආදරයට .
විභාගයට .
විරහවට .
තබන්නේ කොතැනටද?

දැනෙන හැගීමක්
කියූ මනුස්සයෙක්...
වුනු වරදක්
පිළිගත් මනුස්සයෙක්...
ආදරය, සෙනෙහස
සොයනා මනුස්සයෙක්...
හැමෝම දන්න
මාත් මනුස්සයෙක්...
ඒත් උඹට මං
අමුනුස්සයෙක් ද? ...

මල හිරු බසින..
ගොම්මන් තනිකමේ
දෑසට වැටෙන
ලා හිරු රැස් දහර
පවසන්නේ උණුසුමයි...
සීතලේ ගුලිවුන..
දේශනාගාරය...
විඩාපත් වූ මාගේ දෙනයන..
සොයන්නේ ඔබයි
එය මා දකින..
ගොම්මන් මිරිඟුව ද?

දෙනුවනට මගේ
අවැසි
නුඹෙ සිනහව..
වෙහෙසෙමි සොයන්නට
ඒ කියූ කතාව..

'මම නුඹට ආදරෙයි'
නුඹේ
දෙනෙත් බසින්..
ඇමිණූ වදන්
අමතකය නුඹ හටම..

කියාපන් මා හට
කිමද මට සිදුවුණේ..

නමුදු..
ගලායන මතකය..
වියකී යන්නට මත්තෙන්
තබමි සටහනක්..
හදවතින්ම.........

සඳ...
ඇසක් නොඇරුණු..
සඳ...
මුව නොවිවරවුනු...
සඳ...
සිතින් ගොලුවුනු..
සොයන්නෙමි..
පුන් සරා සඳ,
සනසන්නට...
නූපන් සඳ...

නිහඩය....
නිසලය....
ගුප්තය...
ඒ ඔබද?
ඒ මාද?

සසලය...
කැලතෙන...
රිදවන....
හදවත....
එය ඔබෙද?
නැත්නම් මාගේද?

සැනසෙන්න - හිනැහෙන්න..
විදවන්න දෙන්න ඉඩ..
නැලවෙන්න, සැතපෙන්න..
ඔබ ලඟම පතමි සුව..
සීතලේ හඳ ගැහෙන..
නෙතු නිදන...
මේ සයන....
පතන්නෙමි ලැබ ගන්න..
ලබන මතු බව දිනක.....

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

ලිපි ගොනුව

නිතර යන එන අය